Thursday, June 8, 2017

අනුරාගය විපතක් වන කළ

 

අන්තර්ජාතික සම්මානයට පත්වු  අපේ සිනමා කෘතියක් ප්‍රදර්ශනය වනවිට එය මා නොවරදවාම නරඹන්නෙමි.  ඒ සුපුරුදු සම්ප්‍රදායෙන් බැහැරව නැවුම් රස වින්දනයක් ලබා ගැනීමේ විශ්වාසය මතය. 

අප  ප්‍රසන්න ජයකොඩි නිර්මාණය කළ  “ 28 " සිනමා පටය නැරඹිමට  යනවිට ශාලාවේ අසුන් විශාල සංඛ්‍යාවක් හිස්ය.  මමත් බිරිදත්  හැර  තවත් හතර පස් දෙනෙක් පමණක් සිනමා හලෙහි සිටි නිසා චිත්‍ර පටය නොපෙන්වාවිය යන අපගේ බිය පහකරමින්  චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹුණි. මා සිතූ ලෙසින්ම එය දිගු කලකින් දුටු  හොද සිනමා සිත්තමකි.

The film was screened at the Rotterdam International Film Festival in the Netherlands. It won the NETPAC Jury Award for Best Film. [1] Mahendra Perera and Prasanna Jayakody nominated for two Asia Pacific Screen Awards for Best Performance by an Actor and Best Screenplay respectively. 

දූෂණය කර  මරා දමා ඇති සුද්දී නැමති කාන්තාව  කිරිබත්ගොඩ ( සිතෙන පරිදි ) රෝහලේ  මෝචරියේ තබා ඇති බවට ආරංචිවන ඔක්කමිපිටිය පදිංචි අබේසිරි නම් මිනිසා  තම ඥාති පුත්‍රයකුද  සමග මෘත දේහය බැලීමට පැමිණේ. ඇය මීට වසර 15 කට පෙර තමාව අත්හැර  ආගිය අතක් නොමැතිව සිටි තමාගේ බිරිද සුද්දී බව ඔහු හදුනා ගනියි. 

මෘත දේහය තම නිවසට ගෙන ගොස් අවසන් කටයුතු ගෞරවාන්විතව කළ යුතු බව සිතන  අබේසිරි දුප්පතකු බැවින්  අඩු මුදලකින් එදිනම රාත්‍රී දේහය ගමට ගෙන යාම සදහා අබලන් කුළී වෑන් රථයක් අඩු මුදලකට සොයා ගන්නේ එය හිස්  පෙට්ටියක් බවට රියදුරා මුලා කිරීමෙනි.  රථයේ අංකය වන 28 චිත්‍රපටයේද නමය. වසර 15 මුලුල්ලේ අතුරුදන්ව සිටි තම බිරිදට දැක්විය යුතු සැලකිල්ල , අන්තර් සබදතාව ඇය මියගොස් සිටියද දැක්විමට අබේසිරි ගන්නා උත්සාහය අධ්‍යෂක වරයා මැනවින් නිරූපනය කරයි. 

මිය ගොස් සිටින සුද්දී මෝචරියේ පටන් තම මිණිය අබේසිරිගේ නිවසට ගෙන යන තෙක්ම වරින් වර තම ජීවිත කතාවේ සැගවුනු රහස් ප්‍රේක්ෂකයාට කියයි.  අැගේ කතාව අරඹන්නේ මෝචරියේ තබා ඇති දූෂණයට ලක්කර මරා දමා ඇති තවත් තරුණියන් දෙදෙනෙකුගේ මෘත දේහ පෙන්වමිනි.

පණ ඇති මිනිසෙකුට තම ජීවිතය ගැන කිසි දිනක සත්‍ය එලිදරවු කල නොහැකි වුවද මිය ගොස් සිටින තමාට ඇත්ත පැවසිය  හැකි බව ඇය පවසයි.   සිදුවූ විපතෙහි සිද්ධීන් එකින් එක ඇයගේ දේහය නිවසට ගෙන යන අතරේ සුද්දී අපට කියා පායි. මිනිය එම්බාම් කිරීමට මල් ශාලාවේ නිරුවත්ව තිබෙනු දැක කාටත් හොරා අබේසිරි මිනිය සිප වැළද ගන්නේ ඇගේ නිරුවත ඔහු මීට පෙර දැක නැතිව තිබූ නිසා බව ඇය හෙළි කරයි.  ඔහුගේ මව හා පියාද සිටින කුඩා  නිවසේ එවක ඔවුන් ජිවත්ව සිට ඇත.

සුද්දී රූමත් තරුණියක නිසා ගමෙහි පොදු ලිදෙහි දිය නෑමේදී ඇයට මුහුන දීමට වන අපහසුතා නිසා  ඇගේ සැමියා කුඩා නාන කාමරයක් ඇයට තනා දුන්නද මිනිසුන් එයටද එබිකම් කරමින් තවදුරටත් හිරිහැර ඇතිවන අතර සැමියාගේ පියාද එසේ එබිකම් කරමින් සිටිනු ඇයට හසුවේ. ගෙදරින් වරද පැවරෙන්නේ ඇය  එහි නිරුවතින් නෑම ගැනය.  මේ ගැටලුව මත නිවසෙහි ජිවත්විය නොහැකිව  ඇය නිවසින් පලා යයි.  නගරයට පැමිණෙන සුද්දීගේ  ජිවිතය  සංකීර්ණ හා අවුල් සහගත එකක් වී  ලිංගික අපයෝජනයන්ට ලක්ව දඅසානයේ දූෂනයට ලක්ව මියාමට ඇයට සිදුවේ. 

සුද්දී තමාට සිදුවූ කතාව අවසන් කරන්නේ  මීට පසුබිම් හේතු ගැන ප්‍රේක්ෂකයාට ඉගි කරමිනි.  පාසලේ 9 පන්තියේ විද්‍යා පෙළ පොතෙහි ප්‍රජනනය පාඩම අවුරුදු 39 වයසට ගියද ඇය තවමත් නොදන්නා බවද  මල්වල පරාගන ක්‍රියාව සිදුවන්නේ ඹමරෙකු මලෙන් මලට යාම නිසා බවද තවදුරටත් ඇය සදහන් කරයි.

  සුද්දීගේ කතාව රූප රාමු ලෙස සිනමා පටයේදී ඉදිරිපත් නොකර විටින් විට ඇය කරන වාචික විස්තරයකට පමණක් සීමා කර ඇත. අබේසිරි මිනිය නිවසට ගෙන යන දීර්ඝ ගමනේදී  බලාපොරොත්තු විරහිතව දිගින්  දිගටම මුහුණ පෑමට සිදුවන  ගැටලු  ප්‍රබල ලෙස සිනමා රූපි ලෙස ඉදිරිපත් කර ඇත.

2014 වසරේ නෙදර්ලන්තයේ පැවති  Rotterdam International සිනමා සම්මාන උළෙලේදි හොදම ආසියානු චිත්‍රපටය ලෙස NETPAC ( Network for the Promotion of Asian Cinema ) සම්මානය මෙම චිත්‍රපටය විසින් ලබාගත් අවස්ථාවේ සන්ඩේ ටයිම්ස් පුවත් පතේ සිනමා විචාරක සුසිත ප්‍රනාන්දු විසින් පළකර තිබූ අදහස් මෙසේය.

 The protagonist of 28- Sri, Abasiri, sees his own wife only after 15 years, on a mortuary table after she had been raped and murdered. His struggle to establish a relationship with his wife, even though she is already a dead body, reveals the sexual frustration of a culture which once enjoyed an open engagement with its sexuality but was subsequently modified under a colonial Victorian orthodoxy and its implied code of ethic.

 "sexual frustration " හෙවත්  ලිංගික ඉච්ඡා භංගත්වය ශ්‍රී ලාංකික සමාජය තුළ ව්‍යාධියක් ලෙස මුල්බැස ගන්නේ ඉංග්‍රිසි යටත් විජිත සමයේ වූ වික්ටෝරියානු සම්ප්‍රදායේ ( Victorian Orthodoxy ) බලපෑම නිසා බවත් ඊට පෙර ශ්‍රී ලාංකික සමාජයේ නිදහස් ලිංගික සංස්කෘතියක් වූ බවත් ප්‍රකට මතය සුසිත ප්‍රනාන්දු විසින්ද අවධාරණය කර ඇත. වර්තමානයේ ශ්‍රී ලාංකික ජනතාවගෙන් බහුතරයක් අසාමාන්‍ය ලිංගික කුතුහලයකින් සහ පීඩනයකින් සිටින බව සනාථ කෙරෙන සාක්ෂි නිතර අසන්නට ලැබේ. පොදු ප්‍රවාහන රථවල සිදුවන කාන්තා හිංසනයේ සිට කුඩා දරුවන් දූෂණය කර මරා දැමීම දක්වා වන අමිහිරි සිදුවීම් මීට නිදසුන්ය. google search හි ශ්‍රී ලාංකිකයින් වැඩිපුරම සොයා ඇත්තේ ලිංගිකත්වය බව ජාත්‍යන්තර සමික්ෂණයකින්ද අනාවරණයවි තිබේ.  සිනමා පටයෙන් කියවෙන බේදවාචකයට මුල් වන්නේද  ලාංකික ජන සමාජයේ පසුගාමී ලක්ෂණයක් වන මෙම ලිංගික ඉච්ජා භංගත්වයද ?

රටක ලිංගිකත්වය පිළිබද දරන ආකල්පය පුහු සදාචාරවාදී වන තරමට ලිංගික විකෘතීන් සහ ලිංගික ඉච්ඡාභංගත්වය නිසා ඇතිවන ව්‍යසනයන් වැඩිවනු ඇත. මෙම සිනමා පටයේදි  සුද්දී තවමත් ප්‍රජනනය පාඩම  අවබෝධ කර නොගෙන ඇති බව පැවසිමෙන් මෙම දුබල තත්වය පෙන්වා දි ඇත. දරුවන්ට ලිංගිකත්වය පිළිබද සියලු තොරතුරු නිසි වයසේදී විද්‍යාත්මක පදනමකින් පහදා දිය යුතුව ඇත. එවකට 9 වසරේ විද්‍යාව පෙළ පොතේ ඇති ප්‍රජනනය පාඩම ඉගැන්වීමට අකමැති විද්‍යා  ගුරුවරුන් මා හට අධ්‍යාපන ක්ෂේත්‍රයේදි හමුවි තිබේ.  ලිංගිකත්වය සැගවිය යුතු , සදාචාර විරෝධී  සංකල්පයක් ලෙස සමාජයේ මුල්බැසගෙන තිබෙන තාක් ඒ පිළිබද අනවශය කුතුහලයකින් ඇතිවන විකෘතීන් වැලැක්විය නොහැකිය.  

ලිංගික චර්යාව කෙරෙහි මිනිසාගේ පොළඹවිමක් ඇතිවන්නේ අනුරාගය නම්වූ භාවය නිසාය. සොබා දහම මෙම භාවය මිනිසාට දි ඇත්තේ  ප්‍රධාන කරුණු  දෙකක් තෘප්තකර ගැනීම වෙනුවෙනි. එනම්  තම වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම ගෙන යාමට සහ ජිවත්වීමට ඇවැසි සංතෘෂ්ටිය ලබා දීමටය. සොබා දහමින්  ලබා දී ඇති මේ සියලු දේ  මිනිසා ප්‍රවේසමින් භුක්ති විදිය යුතුය.

සමාජයට ලිංගිකත්වය පිළිබද යථාර්ථවාදි ලෙස ගැඹුරින් සිතීමට සහ ඒ පිළිබද පුහු ආකල්පයන්ගෙන් බැහැරව නිවැරදි චර්යාවන් හදුනා ගැන්මටත් පසුබිමක් සලසන මෙම සිනමා සිත්තම සැබැවින්ම ජාත්‍යන්තර සම්මානයට ලක්වීමට උචිතය. 

තිලක් ජයවිර

08 -06 - 2017

 

 

 

 

 

 

 


නිදහස් චින්තන Free Thinking.: “ප්‍රේමය නම් “ සිනමා පටය නැරඹුවෙමි.

නිදහස් චින්තන Free Thinking.: “ප්‍රේමය නම් “ සිනමා පටය නැරඹුවෙමි. : නිවි ගිය සද පහනේ දල්වන්න යළි ඇවිලෙන්න නිවී ගිය මල් කළඹ ඇහිදින්න මල් ...