වාස්තවිකත්වය ..... ( objectivity )
ලොව නිවැරදිව දැකීමට මිනිසා අනාදිමත් කාලයක සිට උත්සාහ දරයි. එහෙත් කිසිවකුට කිසිදාක මිනිසා ලොව ඇති සැටියෙන් දැක ඇතිදැයි නිශ්චිතව කිව නොහැක. මන්ද විශ්වයේ පැවැත්මෙහි යාන්ත්‍රණය අතිශය ගුප්ත , සංකීර්ණ සහ සියුම් එකක් වන බැවිනි.
එහෙත් ලොවෙහි පැවැත්මේ සංකීර්ණ බව එලෙස තිබියදී එය මිනිසාගේ මනසට කිසියම් ආකාරයකින් නිවැරදිව ග්‍රහණය කරගැනීමේ දීර්ඝ කාලින උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස බිහිවී ඇති සංකල්පයන් ලෙස තාර්කිකත්වය ( Rationality ) සහ වාස්තවිකත්වය (Objectivity ) සැලකිය හැකිය.
Objectivity is a central philosophical concept, related to reality and truth, which has been variously defined by sources. Generally, objectivity means the state or quality of being true even outside of a subject's individual biases, interpretations, feelings, and imaginings. A proposition is generally considered objectively true (to have objective truth) when its truth conditions are met without biases caused by feelings, ideas, opinions, etc., of a sentient subject. A second, broader meaning of the term refers to the ability in any context to judge fairly, without partiality or external influence. This second meaning of objectivity is sometimes used synonymously with neutrality.
වාස්තවික බව පිළිබද විකිපීඩියා විශ්ව කෝෂයේ එන අර්ථනිරූපනය සරලව දක්වතොත්
“ ප්‍රමුඛ දාර්ශනික සංකල්පයක් වන වාස්තවික බව සත්‍යය සහ යථාර්ථයට සම්බන්ධය. පුද්ගල බද්ධතාවෙන් එනම් පුද්ගල හැගීම් , මතවාද වලින් බැහැරවූ මේ සංකල්පය සත්‍යයේ ගුණාත්මක තත්වයකි. තවද මෙය බාහිර බලපෑම් මත පදනම් නොවන්නාවූ සාධාරණවූත් අපක්ෂපාතවූත් තත්වයකි. “
මෙහිදී ඇති ගැටලුව නම් අප වාස්තවික වීමට අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගය කුමක්ද යන්නයි. එය සත්‍යයට , යථාර්ථයට ලගාවීමේ මාර්ගයම බව පැහැදිලිය. මෙම යථාර්ථය අපගේ පංචේන්ද්‍රිය සිමාවට හසුවන මට්ටමේ එකකි. එතනින් ඔබ්බෙහි පවතින සත්‍යයක් ඇතත් නැතත් ඒ ගැන සිතීමද පලක් නොවන්නේ කිසිදිනක එම සත්‍යයන් අපට අනාවරණය කරගත නොහැකි බැවිනි.
මානව ඉතිහාසයේ ඇතිවූ චින්තන විප්ලව , විද්‍යාත්මක සොයාගැනීම් ,
නිදහස් අරගල , ප්‍රජාතන්ත්‍රවාදය , මානව හිමිකම් සංකල්ප බිහිවීම යන ප්‍රගතිශිලී වෙනස්කම් මිනිසා වාස්තවිකව ක්‍රියාකිරීමට ඇරඹීමේ ප්‍රතිඵලයකි. වාස්තවිකව ක්‍රියා කිරිම යනු සැබැවින්ම මිනිසා විද්‍යාත්මක චින්තන ක්‍රමය අනුගමනය කිරිමයි. විද්‍යාත්මක චින්තන ක්‍රමයේ ප්‍රධාන පියවර නම්
ගැටලුව හදුනා ගැනිම
ගැටලුවට විසදුම් සදහා කල්පිත ගොඩ නැගීම
කල්පිත සත්‍යදැයි පරීක්ෂා කිරිම සදහා සම්පරීක්ෂණ සිදුකිරිම
කල්පිතය සත්‍යබව නිරික්ෂණය කිරීමට ලැබේ නම් සත්‍යතාව තහවුරු කිරීමට තවදුරටත්පරීක්ෂණ පුලුල් කර නිරික්ෂණ ලබා ගැනීම
කල්පිතය අසත්‍යය බව නිරීක්ෂණ මගින් තහවුරු වේ නම් නව කල්පිත ගොඩ නගමින් ඒවා සත්‍යදැයි පරීක්ෂා කිරිම
සත්‍ය බවට තහවුරු වන කල්පිත සිද්ධාන්ත ලෙස පිළිගැනීම
මෙම ක්‍රියාදාමය මගින් යමක සත්‍ය තත්වය සොයා ගැනීමට කිසියම් විශ්වාස කටයුතු ක්‍රමවේයක් අපට ලැබෙනු ඇත.
ආගමික ශාස්තෘන් අපගේ පංචේන්ද්‍රියන්ට හසු නොවන පාර භෞතික සත්‍යයක් පිළිබද අදහස් දක්වයි. නිවන , ස්වර්ගය , බ්‍රහ්මන් හා එක්වීම , පුනරුත්පත්තිය , කර්ම වාදය , දෙවියන් වහන්සේගේ කැමැත්ත ආදී සංකල්ප මිට නිදසුන්ය. යක්ෂ, දේව බල මහිමයන් , කොඩිවින , හදි හූනියම් , ග්‍රහචාර බලපෑම් ආදී මතවාද බිහිව ඇත්තේද ඒ අනුවය. මේවා පංචේන්ද්‍රිය සංවේද සීමාවට හසු කරගත නොහැකි මිනිස් මතවාදයන්ය. මෙම මතවාද වල සත්‍ය අසත්‍යතාව ඉහත සදහන් විද්‍යාත්මක චින්තන ක්‍රමය අනුගමනය කර සොයා ගත නොහැකි වන්නේ ඒවා සම්පරීක්ෂණ ගොඩනගා පරික්ෂා කළ නොහැකි ඉන්ද්‍රිය ගෝචර නොවන ප්‍රපංචයන් බැවිනි.
පරීක්ෂාවට භාජනය කළ නොහැකි වූ පමණින් මෙම ගුප්තමය පාර භෞතික ප්‍රපංචයන්ගේ පැවැත්ම අසත්‍ය දැයි අයෙකුට විමසිය හැකිය. ඊට දිය හැකි පිළිතුර වන්නේ ඒවායේ සත්‍ය අසත්‍යතාව.... “ අප නොදන්නා බව “.... පමණි. නොදන්නා කරුණුවල එල්බ සිටිනු වෙනුවට ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ සත්‍යයන් අනුව කටයුතු කිරිම තාර්කික බව වටහා ගැනීම අපහසු නැත.
මිනිසුන් වාස්තවිකත්වයෙන් බැහැරව කටයුතු කිරිම සමාජ ප්‍රගමනයටද බාධාවකි. මෙවන් පුද්ගලයින් තාර්කිකව කටයුතු කරනු වෙනුවට පුද්ගල බද්ධවද , අදෘෂ්‍යමාන ගුප්ත බලවේගයන් කෙරෙහි විශ්වාසයෙන්ද ක්‍රියා කරයි. සමාජයට නායකත්වයත් දිය යුතු , ආදර්ශයක් විය යුතු දේශපාලකයින් අතරින් බහුතරයක් මේ ගණයට අයත්වේ. මොවුන් බලයට ආ පසු අයුතු අන්දමට වැඩි සෙත සලසන්නේ සුදුස්සන්ට වඩා තම ඥාති හිතවතුනට සහ පාක්ෂිකයින්ටය. ජනතාවට අවංකව හොද සේවයක් කර ජනතාවගේ විශ්වාසය දිනාගැනීම වෙනුවට ජනතා මුදල් සහ සම්පත්ද ගසා කන මොවුන් අදෘෂ්‍යමාන දේවිවරුන්ගේ විශ්වාසය දිනා ගෙන ඡන්ද දිනිය හැකි වෙතැයි සිතමින් අන්ධ ලෙස දෙවියන් උදෙසා පුද පූජා පවත්වයි. අත්භූත බල ඇතැයි සිතා මුදු මාල වලලු පලදයි. රන් බෝලද මිරිකයි.
නැකතට අනුවම සියලු කටයුතු කරයි. වාස්තවිකව ක්‍රියා නොකරන ඇතැම් රාජ්‍ය නිලධාරින්ගේ සහ බහුතරයක් සාමාන්‍ය ජනතාවගේ හැසිරීමද මීට නොදෙවෙනිය.
මේ වන විට බටහිර වෛද්‍ය විද්‍යාව මගින් වාස්තවිකව ක්‍රියාදාම අනුගමනයෙන් (පර්යේෂණ ක්‍රම ) මිනිසාට වැළදෙන බොහෝ රෝග සදහා සාර්ථක ප්‍රතිකාර ක්‍රම සොයාගෙන තිබියදී වාස්තවිකව නොසිතන ඇතැම් සාමාන්‍ය ජනතාව ඉන් ප්‍රයෝජන නොගනියි. රෝග ප්‍රතිකාර සදහා පුවත්පත් දැන්වීම් නිසාම ප්‍රසිද්ධ වි සිටින හොර වෙදුන්, කට්ටඩියන් , ගුප්ත යකැදුරන් වෙත ගොස් තම රෝගයද අසාධ්‍ය කරගෙන මිය යන අවස්ථා වර්තමානයේ බහුලව අසන්නට ලැබේ. විස්මය නම් ලොව නූතන විද්‍යාත්මක ක්‍රම දියුණුවෙමින් පවතිද්දී අප රටේ බහුතරයක් ජනතාවගේ අන්ධ විශ්වාසද දියුණුවෙමින් පැවතීමයි.
සංවර්ධිත රටවල තත්වය මීට වෙනස්ය. එම රටවල් අද පවතින දියුණු තත්වයට පත්වීමට එක් මූලික හේතුවක් වන්නේ ඔවුන්ගේ වාස්තවික චර්යා රටාව බව කිව හැකිය.
රටකට ශක්තිමත් නීති පද්ධතියක් අවශ්‍ය වන්නේද මිනිසුන් වාස්තවිකත්වයෙන් බැහැරව කටයුතු කිරිම වැලැක්වීම සදහාය. හැගුම් වලට වහල් නොවී , සත්‍ය කරුණු පදනම් කරගෙන , තාර්කිකව කටයුතු කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශන සහ කාර්ය පටිපාටි, මෙන්ම එසේ කටයුතු නොකර සමාජ විරෝධි චර්යාවන්හි යෙදෙන්නන්ට ලැබෙන දඩුවම්ද නීතිය මගින් පෙන්වා දෙයි.
ආචාර්ය නලින් දසිල්වා මහතා මා ගරු කරන විද්වතෙකි. එතුමාට මෙම බටහිර විද්‍යාත්මක දර්ශනය පිළිබද බරපතල විවේචනයක් ඇත. මා වටහාගෙන ඇති පරිදි එතුමා තර්ක කරන්නේ බටහිර විද්‍යාවට පදනම්ව ඇති ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ මුලාවක් බැවින් , සත්‍යය ඇත්තේ ඉන් ඔබ්බෙහි බවය. එය ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය ඉක්මවා ගිය පාර භෞතික එකක් බව එතුමා පවසයි.
තිලක් ජයවීර
30 -03- 2017
No comments:
Post a Comment