Thursday, March 30, 2017

වාස්තවික නොවීමේ ගැටළුව



වාස්තවිකත්වය ..... ( objectivity )


 ලොව නිවැරදිව දැකීමට මිනිසා අනාදිමත් කාලයක සිට උත්සාහ දරයි. එහෙත් කිසිවකුට කිසිදාක මිනිසා ලොව ඇති සැටියෙන් දැක ඇතිදැයි නිශ්චිතව කිව නොහැක. මන්ද විශ්වයේ පැවැත්මෙහි යාන්ත්‍රණය අතිශය ගුප්ත , සංකීර්ණ සහ සියුම් එකක් වන බැවිනි.

එහෙත් ලොවෙහි පැවැත්මේ සංකීර්ණ බව එලෙස තිබියදී  එය මිනිසාගේ මනසට කිසියම් ආකාරයකින් නිවැරදිව ග්‍රහණය කරගැනීමේ දීර්ඝ කාලින  උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස බිහිවී ඇති සංකල්පයන් ලෙස තාර්කිකත්වය ( Rationality ) සහ වාස්තවිකත්වය  (Objectivity ) සැලකිය හැකිය. 

 Objectivity is a central philosophical concept, related to reality and truth, which has been variously defined by sources. Generally, objectivity means the state or quality of being true even outside of a subject's individual biases, interpretations, feelings, and imaginings. A proposition is generally considered objectively true (to have objective truth) when its truth conditions are met without biases caused by feelings, ideas, opinions, etc., of a sentient subject. A second, broader meaning of the term refers to the ability in any context to judge fairly, without partiality or external influence. This second meaning of objectivity is sometimes used synonymously with neutrality.

වාස්තවික බව පිළිබද විකිපීඩියා  විශ්ව කෝෂයේ එන අර්ථනිරූපනය   සරලව දක්වතොත්
 “  ප්‍රමුඛ දාර්ශනික සංකල්පයක් වන වාස්තවික බව සත්‍යය සහ යථාර්ථයට සම්බන්ධය. පුද්ගල බද්ධතාවෙන් එනම් පුද්ගල හැගීම් ,   මතවාද වලින් බැහැරවූ මේ සංකල්පය සත්‍යයේ ගුණාත්මක තත්වයකි. තවද මෙය බාහිර බලපෑම් මත පදනම් නොවන්නාවූ සාධාරණවූත් අපක්ෂපාතවූත් තත්වයකි. “

මෙහිදී ඇති ගැටලුව නම් අප වාස්තවික වීමට අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගය කුමක්ද යන්නයි. එය  සත්‍යයට , යථාර්ථයට ලගාවීමේ මාර්ගයම බව පැහැදිලිය. මෙම යථාර්ථය අපගේ පංචේන්ද්‍රිය සිමාවට හසුවන මට්ටමේ එකකි. එතනින් ඔබ්බෙහි පවතින සත්‍යයක් ඇතත් නැතත් ඒ ගැන සිතීමද පලක් නොවන්නේ කිසිදිනක එම සත්‍යයන් අපට අනාවරණය කරගත නොහැකි බැවිනි.

මානව ඉතිහාසයේ  ඇතිවූ චින්තන විප්ලව ,  විද්‍යාත්මක සොයාගැනීම් ,
නිදහස් අරගල , ප්‍රජාතන්ත්‍රවාදය , මානව හිමිකම් සංකල්ප බිහිවීම යන ප්‍රගතිශිලී වෙනස්කම් මිනිසා  වාස්තවිකව ක්‍රියාකිරීමට ඇරඹීමේ ප්‍රතිඵලයකි. වාස්තවිකව ක්‍රියා කිරිම යනු සැබැවින්ම මිනිසා විද්‍යාත්මක චින්තන ක්‍රමය  අනුගමනය කිරිමයි. විද්‍යාත්මක චින්තන ක්‍රමයේ ප්‍රධාන පියවර නම්
ගැටලුව හදුනා ගැනිම
ගැටලුවට විසදුම් සදහා කල්පිත ගොඩ නැගීම
කල්පිත සත්‍යදැයි පරීක්ෂා කිරිම සදහා සම්පරීක්ෂණ සිදුකිරිම
කල්පිතය සත්‍යබව නිරික්ෂණය කිරීමට ලැබේ නම් සත්‍යතාව තහවුරු කිරීමට තවදුරටත්පරීක්ෂණ පුලුල් කර නිරික්ෂණ ලබා ගැනීම
කල්පිතය අසත්‍යය බව නිරීක්ෂණ මගින් තහවුරු වේ නම් නව කල්පිත ගොඩ නගමින් ඒවා  සත්‍යදැයි පරීක්ෂා කිරිම
සත්‍ය බවට තහවුරු වන කල්පිත සිද්ධාන්ත ලෙස පිළිගැනීම

මෙම ක්‍රියාදාමය මගින් යමක සත්‍ය තත්වය සොයා ගැනීමට කිසියම්  විශ්වාස කටයුතු ක්‍රමවේයක් අපට ලැබෙනු ඇත.

 ආගමික ශාස්තෘන් අපගේ පංචේන්ද්‍රියන්ට හසු නොවන පාර භෞතික සත්‍යයක් පිළිබද අදහස් දක්වයි.  නිවන , ස්වර්ගය , බ්‍රහ්මන් හා එක්වීම , පුනරුත්පත්තිය , කර්ම වාදය , දෙවියන් වහන්සේගේ කැමැත්ත ආදී සංකල්ප මිට නිදසුන්ය.  යක්ෂ, දේව බල මහිමයන් , කොඩිවින , හදි හූනියම් , ග්‍රහචාර බලපෑම් ආදී මතවාද බිහිව ඇත්තේද ඒ අනුවය.  මේවා  පංචේන්ද්‍රිය සංවේද සීමාවට හසු කරගත නොහැකි මිනිස් මතවාදයන්ය. මෙම මතවාද වල සත්‍ය අසත්‍යතාව ඉහත සදහන් විද්‍යාත්මක චින්තන ක්‍රමය අනුගමනය කර සොයා ගත නොහැකි වන්නේ ඒවා සම්පරීක්ෂණ ගොඩනගා පරික්ෂා කළ නොහැකි ඉන්ද්‍රිය ගෝචර නොවන ප්‍රපංචයන් බැවිනි.

පරීක්ෂාවට භාජනය කළ නොහැකි වූ පමණින් මෙම ගුප්තමය පාර භෞතික ප්‍රපංචයන්ගේ පැවැත්ම අසත්‍ය දැයි  අයෙකුට විමසිය හැකිය. ඊට දිය හැකි පිළිතුර වන්නේ ඒවායේ සත්‍ය අසත්‍යතාව.... “ අප ‍නොදන්නා බව “.... පමණි. නොදන්නා කරුණුවල එල්බ සිටිනු වෙනුවට ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ සත්‍යයන් අනුව කටයුතු කිරිම තාර්කික බව වටහා ගැනීම අපහසු නැත.

මිනිසුන් වාස්තවිකත්වයෙන් බැහැරව කටයුතු කිරිම සමාජ ප්‍රගමනයටද බාධාවකි. මෙවන් පුද්ගලයින් තාර්කිකව කටයුතු කරනු වෙනුවට පුද්ගල බද්ධවද , අදෘෂ්‍යමාන ගුප්ත බලවේගයන් කෙරෙහි විශ්වාසයෙන්ද ක්‍රියා කරයි. සමාජයට නායකත්වයත් දිය යුතු , ආදර්ශයක් විය  යුතු දේශපාලකයින් අතරින් බහුතරයක් මේ ගණයට අයත්වේ. මොවුන් බලයට ආ පසු අයුතු අන්දමට වැඩි සෙත සලසන්නේ සුදුස්සන්ට වඩා තම ඥාති හිතවතුනට සහ පාක්ෂිකයින්ටය.  ජනතාවට අවංකව හොද සේවයක් කර ජනතාවගේ විශ්වාසය දිනාගැනීම වෙනුවට ජනතා මුදල් සහ සම්පත්ද ගසා කන මොවුන් අදෘෂ්‍යමාන දේවිවරුන්ගේ විශ්වාසය දිනා ගෙන ඡන්ද දිනිය හැකි වෙතැයි සිතමින්  අන්ධ ලෙස දෙවියන් උදෙසා පුද පූජා පවත්වයි.  අත්භූත බල ඇතැයි සිතා  මුදු මාල වලලු පලදයි. රන් බෝලද මිරිකයි.

  නැකතට අනුවම සියලු කටයුතු කරයි. වාස්තවිකව ක්‍රියා නොකරන ඇතැම් රාජ්‍ය නිලධාරින්ගේ සහ බහුතරයක් සාමාන්‍ය ජනතාවගේ හැසිරීමද මීට නොදෙවෙනිය.

මේ වන විට බටහිර වෛද්‍ය විද්‍යාව මගින් වාස්තවිකව ක්‍රියාදාම අනුගමනයෙන් (පර්යේෂණ ක්‍රම ) මිනිසාට වැළදෙන බොහෝ රෝග සදහා සාර්ථක ප්‍රතිකාර ක්‍රම සොයාගෙන තිබියදී වාස්තවිකව නොසිතන ඇතැම් සාමාන්‍ය ජනතාව ඉන් ප්‍රයෝජන නොගනියි. රෝග ප්‍රතිකාර සදහා පුවත්පත් දැන්වීම් නිසාම ප්‍රසිද්ධ වි සිටින හොර වෙදුන්, කට්ටඩියන් , ගුප්ත යකැදුරන් වෙත ගොස් තම රෝගයද අසාධ්‍ය කරගෙන මිය යන අවස්ථා වර්තමානයේ බහුලව අසන්නට ලැබේ. විස්මය නම් ලොව නූතන විද්‍යාත්මක ක්‍රම දියුණුවෙමින් පවතිද්දී අප රටේ බහුතරයක් ජනතාවගේ අන්ධ විශ්වාසද දියුණුවෙමින් පැවතීමයි.

සංවර්ධිත රටවල තත්වය මීට වෙනස්ය.  එම රටවල් අද පවතින දියුණු තත්වයට පත්වීමට එක් මූලික හේතුවක් වන්නේ ඔවුන්ගේ වාස්තවික චර්යා රටාව බව කිව හැකිය.

රටකට  ශක්තිමත් නීති පද්ධතියක් අවශ්‍ය  වන්නේද මිනිසුන් වාස්තවිකත්වයෙන් බැහැරව කටයුතු කිරිම වැලැක්වීම සදහාය. හැගුම් වලට වහල් නොවී  , සත්‍ය කරුණු පදනම් කරගෙන , තාර්කිකව කටයුතු කිරීමට  අවශ්‍ය මාර්ගෝපදේශන සහ  කාර්ය පටිපාටි, මෙන්ම එසේ කටයුතු නොකර සමාජ විරෝධි චර්යාවන්හි යෙදෙන්නන්ට ලැබෙන දඩුවම්ද නීතිය මගින්  පෙන්වා දෙයි. 

ආචාර්ය නලින් දසිල්වා මහතා මා ගරු කරන විද්වතෙකි. එතුමාට මෙම බටහිර විද්‍යාත්මක දර්ශනය පිළිබද බරපතල විවේචනයක් ඇත. මා වටහාගෙන ඇති පරිදි එතුමා තර්ක කරන්නේ බටහිර විද්‍යාවට පදනම්ව ඇති ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ මුලාවක් බැවින් , සත්‍යය ඇත්තේ ඉන් ඔබ්බෙහි බවය. එය ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය ඉක්මවා ගිය පාර භෞතික එකක් බව එතුමා පවසයි.
 

තිලක් ජයවීර 
30 -03- 2017










Saturday, March 25, 2017

“ප්‍රේමය නම් “ සිනමා පටය නැරඹුවෙමි.







නිවි ගිය සද පහනේ
දල්වන්නයළි ඇවිලෙන්න
නිවී ගිය මල් කළඹ
ඇහිදින්න මල් සිප ගන්න
ගිලන් හද ආලයේ
ඔසුවෙන් සුවපත් වෙන්න
                     
ලවන් පෙති මත මියුරු
හසරැල් මතු තවරන්න
විකල් සිත ස්නේහයේ
පිරි පැන් ඉස සනසන්න
ඔබෙන් භවයෙහි සසරේ
තුනුවන් ලග නවතින්න



සිනමා ශාලාවකට ගොස් හොද සිනමා පටයක්  බැලීමට මා බිරිද කවදත් කැමතිය. අතීතයේ මටද තිබූ  මේ අාශාව ලොව සම්මානිත චිත්‍රපට විකාශනය වන වර්ල්ඩ් සිනමා චැනලය නිතර නැරඹිම නිසාදෝ  මගෙන් ඈත්වී තිබේ.  ඒහෙත්   “ප්‍රේමය නම්“  ගුණාත්මක චිත්‍රපටයක් ලෙස මාධ්‍ය ප්‍රචාර අනුව සිතුන  නිසා  මෙම  සිනමා පටය නැරඹීමට ගියෙමු.

සිනමා ශාලාවේ සිටියේ  තරුණ ජෝඩු හත් අට දෙනෙකු පමණි.  ඔවුන් අප දෙදෙනා දෙස විමතියෙන් මෙන් වරින්වර බලනු දුටුවෙමි.  මේ වයසක  උන්දැලාට මොන ප්‍රේමය නම් දැයි අතැම් විට ඔවුන් සිතන්නට ඇති. නැතිනම් අප  හොද  ආදරණීය දෙමහල්ලන් යුවලක්දැයි සිතුවා වන්නටද බැරි නැත.

OCD  ලෙස කෙටි නමින් හදුන්වන obsessive compulsive disorder නැමති මානසික රෝගයෙන් පීඩා විදින විශ්ව නම් වූ  අලුත විවාහක තරුණයකු වටා කතාව දිව යයි.  මානසික අසමතුලිතතාවය නිසා විශ්ව සමග ජීවත්වීමේ අපහසුතාවෙන්  සමාධි ( බිරිද ) නිවස හැර ගියද ඔහු සුවපත් කර ගැනීම සදහා ඇය දිගටම  විශ්ව උනන්දු කරමින් සහය දක්වයි. බිරිදගේ ආදරය නැවත ලබා ගැනීමේ වටිනාකම පසක් කරගන්නා විශ්ව තනිවම ප්‍රතිකාර සදහා මානසික රෝහලකට ඇතුලුවේ. අපහසුවෙන් වුවද අසීරු සායනික ප්‍රතිකාර වලටද යොමුවීමට විශ්ව ගන්නා තීරණය නිසා සතුටට පත් සමාධි යලිත් නිවසට පැමිණේ. මානසිකව රෝගී වූවෙකුට ඉන් සුවපත්වීමට තම සහකරුගේ ආදරයේ ඇති වැදගත්කම මෙම සිනමා පටයෙන් මතුකර පෙන්වයි.

 චිත්‍රපටය  ocd  රෝගය පිළිබද ප්‍රේක්ෂකයින් දැනුවත් කිරීමේ වාර්තාමය ස්වරූපයකින් ඉදිරිපත් වුවද කලාත්මක ගුණයෙන්  කිසියම් සාධනීය මට්ටමකට ලගාවී තිබුනි. රූප පෙළ ගැස්ම , සංගීතය , දෙබස් සහ රංගනය යන බොහෝ අංග ගුණාත්මක බවින් ඉහළය.  ( ජාත්‍යන්තර මට්ටමේ සම්මානිත  චිත්‍රපට නිතර නැරඹීමෙන්  සිනමා පටවල රසය යම් පමණකට හැදිනීමේ ඉවක්   ඇතැයි විශ්වාස කරමි. )

සිනමා  සිතුවමෙහි සාකච්ජාවට බදුන්වන  අන්දමේ  සහ වෙනත් විවිධ මානසික අසමතුලිතතාවන්ගෙන්  පෙලෙන මිනිසුන් ලොව සමස්ත ජනගහනයෙන් 25%  තරම්  ඉහල ප්‍රතිශතයක් බව කියවේ. එහෙත් රෝගය හදුනාගෙන ප්‍රතිකාර වලට යොමුවන්නේ 5% තරම් අඩු ප්‍රතිශතයකි.   සියලුම පෘතග්ජන මිනිසුන්  උන්මත්තකයින් යයි බුදුන්වහන්සේද හදුන්වා දී  තිබීම සාකච්ජා කළ යුතු වෙනම කරුණකි.

මානසික අසමතුලිතාව නිසා හට ගැනෙන රෝග  සයිකෝසික සහ නියුරෝසික ලෙස දෙවර්ගයකි.  වඩා බරපතල සහ සුවකිරීමට අසීරු වන්නේ සයිකෝසික වර්ගයේ මානසික රෝගය. මානසික රෝග පිළිබද තවමත් විද්‍යාඥයින් හරිහැටි වටහාගෙනද නොමැත.  එක් ජීව විද්‍යාත්මක පැහැදිලි කිරිමක් වන්නේ මෙවැනි රෝගි පුද්ගලයින්ගේ මොළයෙහි  hippocampus  නැමති  වැදගත් කුඩා  කොටස නිරෝගි අයට වඩා කුඩා බවත් ඒ නිසා එමගින් නිපදවන serotonin නම්වූ රසායනික ප්‍රමාණය  අඩු බවත්ය. මෙම රසායනිකය මොළයේ  නීරෝගි ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍යය. තවද මානසික ආබාධයන්ට ලක්වන්නන්ගේ cortisol නම් වූ ආතතියට හේතුවන stress hormone ද අධිකව නිපදවන බවත් , එමගින් මොළයේ  hippocampus  කොටසේ වර්ධනය හා ක්‍රියාකාරිත්වය අඩපණ කරන බවත් සොයාගෙන තිබේ.

සමිපව ඇසුරු කරන අයට මානසික අසමතුලිතවූවන් හදුනා ගැනීම අපහසු නැත.  අසාමාන්‍ය පුද්ගල  චර්යාවන්  වන අධික කෝපය ,  අසාමාන්‍ය ලෙස හැගුම් බරවීම  වැනි  භාවමය   වෙනස්කම් වල  සිට දිවිනසා ගැනීම , මිනි මැරීම , ළමා අපචාර , ස්ත්‍රී දුෂණ වැනි බරපතල චර්යාමය ගැටලු තත්වයන් දක්වා  මානසික රෝග වර්ගය අනුව  මෙවැනි පුද්ගලයින්ගේ හැසිරීම වෙනස්වේ. 

මේ තත්වය සදහා පුද්ගලයින්ගේ ජානමය සාධක මෙන්ම පුද්ගයින් තම ජීවිතයේදී  අත්විදින බරපතල සමාජ මානසික බලපෑම්ද  මානසික අසමතුලිතතා ඇතිවීමට හේතුවිය  හැකි බවට මත පලවේ. එනම් කුඩා කල ඇතිවන අපහරණයන් ,  ලැබෙන ආදරයේ ඌනතාවන් , ආදරය කළ අයකුගේ වියෝව , හුදකලාවීම , සමාජයේ පිළිගැන්ම අඩුවීම වැනි සමාජ මානසික සාධකයන්ය. 

කෙසේ වුවද වත්මන් ලොවෙහි මානසික අසමතුලිතතා සුව කිරිමේ ඖෂධිය සහ සායනික ක්‍රමවේදයන්හි දියුණු තත්වයක් ඇති බැවින් සමාජ වගකීම වන්නේ තම සමීපතමයන්ගේ  රෝග ලක්ෂණ හදුනාගෙන ඔවුන්ට ප්‍රතිකාර ලබා ගැනීමට සහය දැක්වීමය.  අපගේ සමීප පුද්ගලයින් හට අප දැක්විය යුතු ආදරය සැලකිල්ල අන් හැම කරුණකටම වඩා වැදගත් බව මෙහිලා සදහන් කළ යුතුය.

තිලක් ජයවීර

(  විද්‍යාත්මක විෂය කරුණු උපුටා ගැනීම අන්තර්ජාලය ඇසුරෙනි. )





















 

Tuesday, March 21, 2017

නිරීක්ෂණ යනු


තනිව හැදෙන මිණිබිරිය ඉමන්දි ගේ  හුදකලාව තුනී කරන්නේ මේ අහිංසක පූස් පැටියා " ඉන්ඩියි ".  මෙයා එක්ක හුරතල් වනවා අැරුනාම  උෟ ගැන අපූරු නිරීක්ෂණ වාර්තා කරන තරමට  අැය දැන්  පරිණත වෙලා.   දැනුනා  ලොකු සතුටක්.... නිරික්ෂණ , සංවේදන....සංවේදි ඉන්ද්‍රියන්...මේ ගැන   හිතට නැගෙන අලුත් යමක්  අලුත් බ්ලොග් ඒකේ ලියන්න තරම් උනන්දුවක්ද මේ නිසා  අැතිවුනා.



ලොව හදුනගන්න අපට දීල තියෙන්නෙ ඉදුරන් පහයි. ඒ් ඉදුරන්ට සාපේක්ෂව තමයි අපි ලෝකය දකින්නෙ. අැස සම කන දිව නාසය වගේ තවත් ඒක් වැඩිපුර සංවේද ඉන්ද්‍රියක් ෙසාබා දහමින් අපට දීල තිබුණ නම් සමහර විට අප ලෝකය දකින්නෙ  මීට වෙනස්  විදිහකට. 

සොබා දහමෙ පවතින රහස් තේරුම් ගැනිම  , ඒලෙස තේරුම් ගත් රහස් මිනිසාගේ යහපතට යොදා ගැනීම , නවීන විද්‍යාවේ අරමුණයි. විද්‍යාත්මක චින්තන ක්‍රමයේදි සංවේදිතාවට ලැබෙන්නෙ වැදගත් ස්ථානයක්.  සොබා දහමෙ රහස් තේරුම් ගැනීමට කල්පිත හෙවත් උපන්‍යාස ගොඩ නැගීම සදහා සංවේද ඉදුරන්ගෙන් ලැබෙන නිරීක්ෂණ තමයි අවශ්‍ය වන්නෙ.  ඉන් පසුව සම්පරීක්ෂණ මගින් කල්පිතවල සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කරන්න වෙනවා. නිගමන වලට ඒන්න මේ සෑම අවස්ථාවකදීම ලැබෙන නිරීක්ෂණ තමා වැදගත් වෙන්නෙ.   



බුදු හාමුදුරුෙවා කියන විදිහට නම් අපට සංවේදි ඉන්ද්‍රියන් හයක්ම තියනව. මේ සයවන ඉන්ද්‍රිය  අැස කන නාසය වැනි ද්‍රව්‍යයම ඒකක් නෙමේ.  ඒ් සිත හෙවත් චිත්තයයි. 

අාලෝක , ශබ්ද , රස , ස්පර්ශ , වේදනා වැනි සංවේද  භෞතික ඉන්ද්‍රියන්ගෙන් ලැබෙන විට , සිත යන සංවේදී ඉන්ද්‍රියට දැනෙන සංවේදන වල ස්වභාවය කුමක්ද ?  චිත්ත සංවේදනය  අතිශය සියුම් , ගැඹුරු සහ ගුප්තමය ස්වභාවයකින් යුක්තයි. සංකිර්ණතාවෙන්ද  ඉහලයි...අප ඒකිනෙකාගේ දැනුම් අාකල්ප සහ බුද්ධිය අනුවද චිත්ත සංවේදන අප ඒකිනෙකාට සාපේක්ෂයි. එපමණද ?

අප අගයන සමාජ වටිනාකම් , ජානමය වෙනස්කම්...  අපගේ මානසික  තත්වය....
 මේ සියලු සාධකවලටද සාපේක්ෂවයි අපට චිත්ත සංවේදන දැනෙන්නෙ. ඒකම අත්දැකීමක් මිනිසුන් කීප දෙනෙක් විවිධ අාකාරයට සංවේදනය කරගන්නෙ මේ හේතුව නිසයි.

මීට සරල නිදසුනක් මා කියන්නම්.  වයසක මමත් බිරිදත් ජීවත්වන නිවසට යාබද නිවෙසෙ  දරු දෙදෙනෙකුත් ඒක්ක තරුණ පවුලක් ඉන්නව. වයස අවුරුදු 3 ක් පමණ වූ ඔවුන්ගෙ ළදරු බාල දියණියගෙ සුලු වරදකටත් අැගේ පියා මහ හයියෙන් අැයට බැණ වදින අතර දරුව සෑහෙන වෙලාවක් දුක් අදෝනා කියමින් අඩා වැලපෙනව. මේ අමිහිරි සංවේදනය මමත් බිරිදත් ග්‍රහණය කරගන්නෙ දෙවිදිහකට. මෙහිදී අප දෙදෙනාටම ලැබෙන ශ්‍රවණ සංවේදන සමාන වුවත් චිත්ත සංවේදන වෙනස්.

මේ පීඩාකාරී අමිහිරි සංවේදනය දරාගත නොහැකිව මා මගේ කාමරය අතහැර නිවසේ අනෙක් පස අැති කාමරයට ස්ථිර පදිංචිය සදහා සංක්‍රමණය වුනා. ඒ්ත්  බිරිද  සුපුරුදු උපේක්ෂාවෙන් සිනාසෙමින් මා දෙස බලා උන්නා විතරක් නෙමේ  පියාගේ හැසිරීම සාධාරණීකරණය කරන්නත් කරුණු කාරනා ඉදිරිපත් කලා.

සංවේදන පිළිබද අැති ප්‍රබල ගැටලුව ලෙස මා දකින්නේ මිනිසා  සය ඉදුරන්ගෙන් ලබන සංවේදන පදනම් කරගෙන ලොව යථා ස්වරූපය  හදුනා ගත  හැකිද යන්නයි. බුදුන් වහන්සේට අනුව නම් ඒ සදහා වැදගත්  වන්නේ  ප්‍රඥාව දියුණු කර ගැනිමයි. මෙය ඉතා ගැඹුරු සංකල්පයක් බව හැගේ.

තිලක් ජයවීර






















  




නිදහස් චින්තන Free Thinking.: “ප්‍රේමය නම් “ සිනමා පටය නැරඹුවෙමි.

නිදහස් චින්තන Free Thinking.: “ප්‍රේමය නම් “ සිනමා පටය නැරඹුවෙමි. : නිවි ගිය සද පහනේ දල්වන්න යළි ඇවිලෙන්න නිවී ගිය මල් කළඹ ඇහිදින්න මල් ...