Saturday, March 25, 2017

“ප්‍රේමය නම් “ සිනමා පටය නැරඹුවෙමි.







නිවි ගිය සද පහනේ
දල්වන්නයළි ඇවිලෙන්න
නිවී ගිය මල් කළඹ
ඇහිදින්න මල් සිප ගන්න
ගිලන් හද ආලයේ
ඔසුවෙන් සුවපත් වෙන්න
                     
ලවන් පෙති මත මියුරු
හසරැල් මතු තවරන්න
විකල් සිත ස්නේහයේ
පිරි පැන් ඉස සනසන්න
ඔබෙන් භවයෙහි සසරේ
තුනුවන් ලග නවතින්න



සිනමා ශාලාවකට ගොස් හොද සිනමා පටයක්  බැලීමට මා බිරිද කවදත් කැමතිය. අතීතයේ මටද තිබූ  මේ අාශාව ලොව සම්මානිත චිත්‍රපට විකාශනය වන වර්ල්ඩ් සිනමා චැනලය නිතර නැරඹිම නිසාදෝ  මගෙන් ඈත්වී තිබේ.  ඒහෙත්   “ප්‍රේමය නම්“  ගුණාත්මක චිත්‍රපටයක් ලෙස මාධ්‍ය ප්‍රචාර අනුව සිතුන  නිසා  මෙම  සිනමා පටය නැරඹීමට ගියෙමු.

සිනමා ශාලාවේ සිටියේ  තරුණ ජෝඩු හත් අට දෙනෙකු පමණි.  ඔවුන් අප දෙදෙනා දෙස විමතියෙන් මෙන් වරින්වර බලනු දුටුවෙමි.  මේ වයසක  උන්දැලාට මොන ප්‍රේමය නම් දැයි අතැම් විට ඔවුන් සිතන්නට ඇති. නැතිනම් අප  හොද  ආදරණීය දෙමහල්ලන් යුවලක්දැයි සිතුවා වන්නටද බැරි නැත.

OCD  ලෙස කෙටි නමින් හදුන්වන obsessive compulsive disorder නැමති මානසික රෝගයෙන් පීඩා විදින විශ්ව නම් වූ  අලුත විවාහක තරුණයකු වටා කතාව දිව යයි.  මානසික අසමතුලිතතාවය නිසා විශ්ව සමග ජීවත්වීමේ අපහසුතාවෙන්  සමාධි ( බිරිද ) නිවස හැර ගියද ඔහු සුවපත් කර ගැනීම සදහා ඇය දිගටම  විශ්ව උනන්දු කරමින් සහය දක්වයි. බිරිදගේ ආදරය නැවත ලබා ගැනීමේ වටිනාකම පසක් කරගන්නා විශ්ව තනිවම ප්‍රතිකාර සදහා මානසික රෝහලකට ඇතුලුවේ. අපහසුවෙන් වුවද අසීරු සායනික ප්‍රතිකාර වලටද යොමුවීමට විශ්ව ගන්නා තීරණය නිසා සතුටට පත් සමාධි යලිත් නිවසට පැමිණේ. මානසිකව රෝගී වූවෙකුට ඉන් සුවපත්වීමට තම සහකරුගේ ආදරයේ ඇති වැදගත්කම මෙම සිනමා පටයෙන් මතුකර පෙන්වයි.

 චිත්‍රපටය  ocd  රෝගය පිළිබද ප්‍රේක්ෂකයින් දැනුවත් කිරීමේ වාර්තාමය ස්වරූපයකින් ඉදිරිපත් වුවද කලාත්මක ගුණයෙන්  කිසියම් සාධනීය මට්ටමකට ලගාවී තිබුනි. රූප පෙළ ගැස්ම , සංගීතය , දෙබස් සහ රංගනය යන බොහෝ අංග ගුණාත්මක බවින් ඉහළය.  ( ජාත්‍යන්තර මට්ටමේ සම්මානිත  චිත්‍රපට නිතර නැරඹීමෙන්  සිනමා පටවල රසය යම් පමණකට හැදිනීමේ ඉවක්   ඇතැයි විශ්වාස කරමි. )

සිනමා  සිතුවමෙහි සාකච්ජාවට බදුන්වන  අන්දමේ  සහ වෙනත් විවිධ මානසික අසමතුලිතතාවන්ගෙන්  පෙලෙන මිනිසුන් ලොව සමස්ත ජනගහනයෙන් 25%  තරම්  ඉහල ප්‍රතිශතයක් බව කියවේ. එහෙත් රෝගය හදුනාගෙන ප්‍රතිකාර වලට යොමුවන්නේ 5% තරම් අඩු ප්‍රතිශතයකි.   සියලුම පෘතග්ජන මිනිසුන්  උන්මත්තකයින් යයි බුදුන්වහන්සේද හදුන්වා දී  තිබීම සාකච්ජා කළ යුතු වෙනම කරුණකි.

මානසික අසමතුලිතාව නිසා හට ගැනෙන රෝග  සයිකෝසික සහ නියුරෝසික ලෙස දෙවර්ගයකි.  වඩා බරපතල සහ සුවකිරීමට අසීරු වන්නේ සයිකෝසික වර්ගයේ මානසික රෝගය. මානසික රෝග පිළිබද තවමත් විද්‍යාඥයින් හරිහැටි වටහාගෙනද නොමැත.  එක් ජීව විද්‍යාත්මක පැහැදිලි කිරිමක් වන්නේ මෙවැනි රෝගි පුද්ගලයින්ගේ මොළයෙහි  hippocampus  නැමති  වැදගත් කුඩා  කොටස නිරෝගි අයට වඩා කුඩා බවත් ඒ නිසා එමගින් නිපදවන serotonin නම්වූ රසායනික ප්‍රමාණය  අඩු බවත්ය. මෙම රසායනිකය මොළයේ  නීරෝගි ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍යය. තවද මානසික ආබාධයන්ට ලක්වන්නන්ගේ cortisol නම් වූ ආතතියට හේතුවන stress hormone ද අධිකව නිපදවන බවත් , එමගින් මොළයේ  hippocampus  කොටසේ වර්ධනය හා ක්‍රියාකාරිත්වය අඩපණ කරන බවත් සොයාගෙන තිබේ.

සමිපව ඇසුරු කරන අයට මානසික අසමතුලිතවූවන් හදුනා ගැනීම අපහසු නැත.  අසාමාන්‍ය පුද්ගල  චර්යාවන්  වන අධික කෝපය ,  අසාමාන්‍ය ලෙස හැගුම් බරවීම  වැනි  භාවමය   වෙනස්කම් වල  සිට දිවිනසා ගැනීම , මිනි මැරීම , ළමා අපචාර , ස්ත්‍රී දුෂණ වැනි බරපතල චර්යාමය ගැටලු තත්වයන් දක්වා  මානසික රෝග වර්ගය අනුව  මෙවැනි පුද්ගලයින්ගේ හැසිරීම වෙනස්වේ. 

මේ තත්වය සදහා පුද්ගලයින්ගේ ජානමය සාධක මෙන්ම පුද්ගයින් තම ජීවිතයේදී  අත්විදින බරපතල සමාජ මානසික බලපෑම්ද  මානසික අසමතුලිතතා ඇතිවීමට හේතුවිය  හැකි බවට මත පලවේ. එනම් කුඩා කල ඇතිවන අපහරණයන් ,  ලැබෙන ආදරයේ ඌනතාවන් , ආදරය කළ අයකුගේ වියෝව , හුදකලාවීම , සමාජයේ පිළිගැන්ම අඩුවීම වැනි සමාජ මානසික සාධකයන්ය. 

කෙසේ වුවද වත්මන් ලොවෙහි මානසික අසමතුලිතතා සුව කිරිමේ ඖෂධිය සහ සායනික ක්‍රමවේදයන්හි දියුණු තත්වයක් ඇති බැවින් සමාජ වගකීම වන්නේ තම සමීපතමයන්ගේ  රෝග ලක්ෂණ හදුනාගෙන ඔවුන්ට ප්‍රතිකාර ලබා ගැනීමට සහය දැක්වීමය.  අපගේ සමීප පුද්ගලයින් හට අප දැක්විය යුතු ආදරය සැලකිල්ල අන් හැම කරුණකටම වඩා වැදගත් බව මෙහිලා සදහන් කළ යුතුය.

තිලක් ජයවීර

(  විද්‍යාත්මක විෂය කරුණු උපුටා ගැනීම අන්තර්ජාලය ඇසුරෙනි. )





















 

6 comments:

  1. මේ චිත්‍රපට නැරඹිය යුතුයි කියා මා සිතා සිටින එකක්. නමුත්, මා ඉන්නා ප්‍රදේශයේ පෙන්වන සිංහල චිත්‍රපට මොනවාදැයි මට තීරණය කරන්නට නොහැකියි. එනිසා, කවදා හෝ යූටියුබයේ නරඹන්නට වෙන්නත් ඉඩ තියෙනවා.

    විචාරයට ස්තුතියි!

    ReplyDelete
  2. ඒ සමගම බෝධිනී සමරතුංගටත් මගේ ස්තුතිය. ඇය තමයි මේ අලුත් බ්ලොගය ගැන කීවේ!

    ReplyDelete
  3. මේ බ්ලොගය මෙබයිල්වලින් කියවීමට අපහසු බව දන්නවා තියෙනවා.

    කරුණාකර ඔබේ බ්ලොගර් පාලක පිටුවේ Theme වලට ගොස් මොබයිල් සඳහා සරල තේමාවකින් බ්ලොගය පෙන්වන ලෙස සකසන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට මගේ ලිපියට ප්‍රතිචාර දැක්වීම ගැන. බ්ලොග් ලිවීමට මා ආධුනිකයි. ඉදිරියේදී අඩුපාඩු සකසාගෙන තව ලිපි ලියන්න උත්සාහ ගන්නවා. වෛද්‍ය බෝධිනි සමරතුංග ඉතා සහයෝගශීලි හොද ලේඛිකාවක්. ඇයයි මට මේ බ්ලොගය නිර්මාණය කරගැනීමට උපකාර කලේ.

      Delete
  4. තවමත් චිත්‍රපටය නරඹන්නට හැකි වුණේ නැහැ. බලන්න ඕන. අගෙයි මේ සටහන.

    ReplyDelete
  5. සිග්මන් කියලා තියෙනවා සෑම මිනිසෙකටම යම් මානසික ආබාධයක් ඇත කියලා

    ReplyDelete

නිදහස් චින්තන Free Thinking.: “ප්‍රේමය නම් “ සිනමා පටය නැරඹුවෙමි.

නිදහස් චින්තන Free Thinking.: “ප්‍රේමය නම් “ සිනමා පටය නැරඹුවෙමි. : නිවි ගිය සද පහනේ දල්වන්න යළි ඇවිලෙන්න නිවී ගිය මල් කළඹ ඇහිදින්න මල් ...